
හොරණ ප්රදේශයේ බැංකුවකින් රුපියල් මිලියන 35 ක් (රු. 35,000,000) කොල්ලකෑමේ සිද්ධියට අදාළව එම බැංකුවේ අතිරේක කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 3 වනදා හොරණ ප්රදේශයේ බැංකුවක මුදල් උප ශාඛා වෙත ප්රවාහනය කිරීම සඳහා සූදානම් කර ආයතනයෙන් පිටතට රැගෙන යන අවස්ථාවේදී නාඳුනන පුද්ගලයෙකු විසින් රුපියල් 35,000,000ක මුදලක් කොල්ලකා ඇති බවට හොරණ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබුණා. එම පැමිණිල්ලට අනුව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළ අතර එහිදි අනාවරණය වූ තොරතුරු මත අඟුරුවාතොට නගර සභා ක්රීඩාංගණය අසලදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු කොල්ලයට සෘජුව සම්බන්ධ බවට සැක කෙරෙන බැංකුවේ අතිරේක කළමනාකරුවෙකු වන අතර අනෙක් සැකකරු මෙම අපරාධයට ආධාර අනුබල ලබාදුන් බවට සැක කෙරෙන බැංකුවේ ආරක්ෂක නිලධාරියෙකු බව පොලිසිය පවසනවා. මෙම සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකන ලද මුදලින් රුපියල් 1,740,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවුරුදු 43 සහ 54 වන හොරණ සහ බුලත්සිංහල ප්රදේශවල පදිංචිකරුවන් බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.