
මීගොඩ මංසන්දිය ආසන්නයේ පැවති දන්සල් පෝලිමක රැඳී සිටි පිරිසක් අනතුරට ලක් කර පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කැබ් රථයේ හිමිකරු සහ තවත් සැකකරුවෙකු ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම වැඩබලන මහේස්ත්රාත් රොෂාන් කුරුප්පුආරච්චි මහතා අද (06) නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනතුරට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු බවට සැලකෙන අත්තනායකගේ දොන් වසන්ත නමැති කුඩමාදූව, සිද්ධමුල්ල, පිළියන්දල ලිපිනයේ පදිංචිකරුවෙකු සහ පැලැන්වත්ත, පන්නිපිටිය ප්රදේශයේ පදිංචි එස්. කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර් නමැති අයයි. සැකකරුවන් දෙදෙනා අද (06) දින නීතිඥවරයෙකු සමඟ මීගොඩ පොලිසිය වෙත බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්රකාශ කළා. සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මීගොඩ පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබනවා. පසුගිය ඉරිදා (31) වෙනිදා සිදු වූ මෙම මාරක රිය අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් හත් දෙනෙකු තුවාල ලැබුවා.