
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකළ විශේෂ වැටලීමකදී ව්‍යාජ ලේඛන, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සහ ව්‍යාජ නිල මුද්‍රා සකස් කිරීමේ ජාලයකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බොරැල්ල පොලිස් වසමේ එන්. එම්. පෙරේරා මාවත ප්‍රදේශයේ වැටලීමක් සිදුකර නිවසක් පරීක්ෂා කරනු ලැබුවා. පොලීසිය සඳහන් කළේ එහිදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට අයත් ඔප්පු පිටපත් සහිත මුල් ගොනු දෙකක්, ඉඩම් සම්බන්ධයෙන් සකස් කළ බවට සැක කෙරෙන ව්‍යාජ ලිපි ලේඛන, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් හතරක්, ව්‍යාජව නිෂ්පාදනය කළ නිල මුද්‍රා 600 ක් සහ එම ලේඛන සකස් කිරීම සඳහා භාවිත කළ විද්‍යුත් උපකරණ රැසක් සොයාගෙන ඇති බවයි. එම ස්ථානයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත දෙල්කඳ ප්‍රදේශයේදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 54, 55 සහ 59 යන වයස් කාණ්ඩවල පසුවන අතර, ඔවුන් බොරැල්ල, දික්වැල්ල සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළා. මීට අමතරව, මෙම අපරාධ සඳහා යොදාගෙන ඇති බවට සැක කෙරෙන කාර් රථයක්, යතුරුපැදියක් සහ රුපියල් ලක්ෂ 15 ක මුදලක් ඇතුළු දේපළ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරනු ලබනවා.